ඊශ්රායල බුද්ධි අංශය වන මොසාඩ් (Mossad) වෙනුවෙන් ඔත්තු බැලූ බවට වරදකරු වූ පුද්ගලයෙකුට ඉරානය විසින් අද (18) මරණ දඬුවම ක්රියාත්මක කර තිබේ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, අදාළ පුද්ගලයා ඉරානයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කර ඇති බවයි.
මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ කොරූෂ් කීවානි නම් පුද්ගලයෙකුට වන අතර, ඔහු 2025 වසරේ ජුනි මස පැවති ‘දොළොස් දින යුද්ධය’ (Twelve-Day War) අතරතුරදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඉරානයේ පිහිටි ආරක්ෂක අංශ සතු සංවේදී ස්ථානවල ඡායාරූප සහ රහසිගත තොරතුරු ඊශ්රායලයට ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
විමර්ශන වාර්තා පෙන්වා දෙන්නේ ඊශ්රායල ආරක්ෂක අංශ විසින් මොහුව 2023 වසරේදී ස්වීඩනයේදී හඳුනාගෙන පසුව මොසාඩ් නිලධාරියෙකු හරහා ඔත්තුකරුවෙකු ලෙස බඳවාගෙන ඇති බවයි. ඉන් අනතුරුව ටෙල් අවිව් නුවර සහ යුරෝපීය රටවල් හයක වසර දෙකක පමණ කාලයක් විශේෂ පුහුණුවක් ලබා දී ඇති බව සඳහන්.
