Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩ­ල­යට නව මුහුණු කිහිපයක්

8 months ago

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව හිටපු දක්ෂ ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර, රංගන හේරත් සහ අශාන් ප්‍රියංජන යන මහත්වරුන්ට පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීම් පැවරීමට තීරණය කර ඇත.

මෙහි විශේෂ පියවරක් ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස අශාන් ප්‍රියංජන පත් කර ඇති අතර, එම තනතුරේ සිටි අවිශ්ක ගුණවර්ධන මහතා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරේ.

ලබන මස 15 වැනිදා සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

2011 වසරේ ඉන්දියාවට ලෝක කුසලානය දිනා දීමට මෙන්ම දකුණු අප්‍රිකාව ලොව අංක 1 කණ්ඩායම බවට පත් කිරීමට දායක වූ කර්ස්ටන් මහතාගේ පැමිණීමට පෙර ‘ඒ’ කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායමේ මෙම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කර ඇත.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුවට ගැරී කර්ස්ටන් මහතා පත් කෙරුණි.

ඔහුගේ ඉල්ලීම පරිදි ඉදිරි සතියේදී නුවන් කුලසේකර සහ රංගන හේරත් වෙත ද නිශ්චිත වගකීම් පැවරීමට සාකච්ඡා වෙමින් පවතින බව වාර්තා වේ.

අශාන් ප්‍රියංජනගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලබන මස 2 වැනිදා දිවයිනට පැමිණෙන නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට මුහුණ දීමට සූදානම් වේ.