අමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය අඩාල වී පවතින පසුබිමක, ඉන්දීය ධජය යටතේ ක්‍රියාත්මක ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රවාහන නෞකා දෙකක් එම මාර්ගය සාර්ථකව පසු කර ඇති බව වාර්තා වේ.
MarineTraffic සහ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමූහයේ (LSEG) දත්තවලට අනුව, “Pine Gas” සහ “Jag Vasant” යන නෞකා දෙක මෙලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කර තිබේ. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙම නෞකා දෙකම “Indian ship and crew” (ඉන්දීය නෞකාවක් සහ කාර්ය මණ්ඩලයක්) යන පණිවිඩය නිරන්තරයෙන් ප්‍රචාරය කරමින් යාත්‍රා කර ඇත. මෙය තමන් ගැටුම්වලට සම්බන්ධ නොවන මධ්‍යස්ථ රටක නෞකා බව හඳුන්වා දෙමින් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගත් උත්සාහයක් ලෙස සැලකේ.
පර්සියානු ගල්ෆ් කලාපයේ තවමත් වාණිජ නෞකා සිය ගණනක් ගමන් කළ නොහැකිව සිරවී ඇති අතර, එහි සිටින දහස් සංඛ්‍යාත නාවික කාර්ය මණ්ඩල ආහාර සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමකට ලක්ව සිටිති. කෙසේ වෙතත්, ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා සඳහා අතිශය වැදගත් වන මෙම LPG නෞකා ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ආරක්ෂාව ද වක්‍රව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
