Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!

8 months ago

මෙරට නීතිඥවරුන්, වෘත්තිකයින් සහ මාධ්‍යවේදීන්ට එල්ල වන බලපෑම් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලනීකරණය පිළිබඳව කරුණු දක්වමින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් රැසක් එක්ව ජාත්‍යන්තර සංවිධාන වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

මෙම ඓතිහාසික ඒකාබද්ධ ලිපිය සඳහා විපක්ෂයේ විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් පහත නායකයින් අත්සන් තබා ඇත:

  • එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
  • සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
  • සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්.

ජාත්‍යන්තර නීති සංගමය, අම්නෙස්ට් ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු සංවිධාන වෙත යොමු කළ මෙම ලිපියෙන් පහත කරුණු අවධාරණය කර ඇත:

  • පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවත්, එමඟින් විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට බාධා එල්ල වන බවත් මෙහි දැක්වේ.
  • පසුගිය පෙබරවාරි 13 වනදා අධි ආරක්ෂිත කලාපය අසලදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය විපක්ෂ නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ඝාතනය සිදුවී පැයක් ඇතුළත ඔහු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස හුවා දක්වමින් එම අපරාධයේ බරපතළකම අවම කිරීමට පොලිසිය උත්සාහ කළ බව ලිපිය පෙන්වා දෙයි.
  • පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීම්වලින් ජීවිත 60ක් සහ මෙම වසරේ දැනටමත් ජීවිත 09ක් අහිමි වී ඇති බව සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දී තිබේ.
  • යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත හරහා ජනතා අතෘප්තිය මර්දනය කිරීමටත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමටත් රජය උත්සාහ දරන බව ලිපියේ සඳහන්ය.
  • මෙම තත්ත්වය තුළ මාධ්‍ය හිමිකරුවන්ගේ සිට මාධ්‍යවේදීන් දක්වා සියලු දෙනාට පැහැදිලි අවදානමක් මතුව ඇති බව පක්ෂ නායකයින් පවසයි.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීම සඳහා සුදුසු මැදිහත්වීමක් සිදු කරන ලෙස විපක්ෂයේ නායකයින් මෙම ජාත්‍යන්තර සංවිධානවලින් වැඩිදුරටත් ඉල්ලා ඇත.