මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය මේ වන විට යම් වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන රජය විසින් පකිස්ථාන ධජය සහිත නෞකා 20කට මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව දිනකට නෞකා දෙක බැගින් ගමන් කිරීමට නියමිත අතර, පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා මෙම තීරණය ඉහළින් අගය කර ඇත. මේ අතර, ‘Marine Traffic’ සේවාවට අනුව මැලේසියාව බලා යාත්‍රා කරන චීන බහාලුම් නෞකා දෙකක් ද ඊයේ (30) සාර්ථකව මෙම සන්ධිය තරණය කර තිබේ.
ඉන්දියාව සහ ඉරානය අතර සති දෙකකට පෙර ඇති වූ එකඟතාවයකට අනුව, ඉන්දියාවේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් ඉන්දියානු නෞකා දෙකක් ද පසුගිය සති අන්තයේ මෙම මාර්ගය හරහා ආරක්ෂිතව යාත්‍රා කර ඇත.
සමුද්‍ර සන්ධිය පූර්ණ ලෙස අවහිර කිරීම වෙනුවට, අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ සෘජු සබඳතා නොපවත්වන රටවල නෞකාවලට පමණක් අවසර ලබා දීමේ උපායමාර්ගයක් ඉරානය අනුගමනය කරමින් සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ පකිස්ථාන නෞකාවලට අවසර දීම පිළිබඳව ඉරාන කථානායක මොහොමඩ් ගලිබාෆ් තමා දැනුවත් කළ බවයි.
කෙසේ වෙතත් ඉරානය මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
