Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් විදුලි බිලට සහනයක්

8 months ago

විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා ඉදිරියේදී සිදුවන විදුලි බිල වැඩිවීමකදී සහන සැලසීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් මසකට රුපියල් කෝටි 500 බැගින් මාස තුනක කාලයක් සඳහා රුපියල් කෝටි 1500ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

විදුලි බිල ඉහළ යාම සහ පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සභාව දැනුවත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබාදීම නිසා සිදුවන අතිරේක පිරිවැය කිසිසේත්ම සාමාන්‍ය පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවයි. බාල ගල් අඟුරු සැපයූ සමාගම්වලට එරෙහිව දැඩිව දඩ නියම කර ඇති අතර, ඇතැම් සමාගම්වලින් අයවිය යුතු මුදල් 80%ක් දක්වා රඳවා ගැනීමට කටයුතු කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.

“මේක අපේ ආණ්ඩුවක්, කම්පැණිකාරයන්ගේ ආණ්ඩුවක් නෙවෙයි. බාල ගල් අඟුරු නිසා සිදුවන පාඩුව අදාළ සමාගම් විසින්ම දැරිය යුතුයි,” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවීම සහ ඒ වෙනුවට අධික පිරිවැයක් සහිත ඩීසල් භාවිත කිරීමට සිදුවීම විදුලි බිලට යම් බලපෑමක් ඇති කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ හරහා අපේක්ෂිත රුපියල් බිලියන 32ක පාඩුව කළමනාකරණය කරගැනීම සඳහා රජය තුන්පාර්ශ්වීය උපාය මාර්ගයක් අනුගමනය කරන බව සඳහන් කළේය.

ඒ අනුව, එම පාඩුවෙන් රුපියල් බිලියන 15ක් රජය විසින් දරා ගන්නා අතර, රුපියල් බිලියන 07ක් බාල ගල් අඟුරු සැපයූ සමාගම්වලින් දඩ ලෙස අය කර ගැනීමට නියමිතය. ඉතිරි බිලියන 10ක පිරිවැය පමණක් විදුලි බිලට ඇතුළත් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

විදුලි බිල වැඩිවීමේ බලපෑම අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, ඒකක 30ට වඩා අඩු පාරිභෝගිකයන් සඳහා සිදුව ඇති බලපෑම මසකට රුපියල් 15ක් වැනි සුළු මුදලක් බවයි. එය දිනකට සත 50ක පමණ අගයකි. මීළඟ මට්ටමේ පාරිභෝගිකයන් සඳහා දිනකට රුපියලක පමණ වැඩිවීමක් සිදුවන බවත්, පවතින අර්බුදය හමුවේ එම වැඩිවීම අවම මට්ටමක පවත්වා ගැනීමට රජය උපරිම උත්සාහයක් දරන බවත් ජනාධිපතිවරයා සභාව හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.