සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කර තිබේ. ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගයට ආරම්භයේ සිටම අයහපත් කාලගුණයෙන් දැඩි බාධා එල්ල විය.
මෙම තරගය කාසියේ වාසිය උරගා බැලීමට පමණක් සීමා වූ අතර, එහිදී කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. එහෙත්, ක්රීඩාංගණයට අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගයේ එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර, එරට වේලාවෙන් පස්වරු 06.35 ට පමණ තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කෙරිණි.
මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීමත් සමගින්, තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය මේ වන විට 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ. දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්රිකට් තරගය අනිද්දා (09) පැවැත්වීමට නියමිතව ඇත.
