මව මිය ගිය දා සිට වසර දහතුනක් තිස්සේ සෑම මසකම 12වැනිදා පස්යාල පොදු සූසාන භූමියට ගොස් මවුපියන් දෙපළම සිහිපත් කොට පහන් දල්වා පැමිණ නැති බැරි අය වෙනුවෙන් කෑම පාර්සල් හා පොත් පත් බෙදා දීම ඇතුළු විවිධ වූ පින්කම් කරන දුර්ලභ ගණයේ පුතෙකු පෙරේදා 12වැනිදා පස්වරුවේ අපට හමු වුනෙමු.
ඔහු නම් නිට්ටඹුව ලංගම ඩිපෝවේ හිටපු බස් රියැදුරෙකු වන නිට්ටඹුව නම්බාදළුව පදිංචි එක් දරු පියෙකු වන ඇම්. පී. ජගත් චන්ද්‍රසිරි 50 මහතායි.
සෑම මසකම 12වැනිදා පස්වරුවේ පස්යාල පොදු සූසාන භූමියට ගොස් සොහොන් කොතක් ඉදිරියේ ඉටිපහන් දල්වා පැමිණ නැති බැරි අය වෙනුවෙන් කෑම පාර්සල් බෙදා දෙන පුද්ගලයෙකු පිළිබඳව ලද තොරතුරකට අනුව අප ඔහු සොයා අත්තනගල්ල පාර පස්යාල පොදු සූසාන භූමියට ගියෙමු.
අප එහි යන විටත් ඔහු මවු පිය දෙපළකගේ සොහොන් කොතක් ඉදිරියේ ඉටි පහන් දල්වා සුවඳ හඳුන් කූරුද දල්වා වැඳ නමස්කාර කර ගෙන සිටින අයුරු දැක ගන්නට ලැබුණි.
මෙහිදී අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
ඇඩ්වින් සිංඤෝ මගේ පියා. ගම්කාර්ය සභා පැවැති යුගයේ පස්යාල මැම්බර්වරයා වශයෙන් කටයුතු කළා.
ඔහු 2002 වසරේ මිය ගියා. මගේ මෑණියන් වසර තුනක් ඔත්පලව සිට 2009.11.12 වනදා මිය ගියා. සහෝදර සහෝදරියන් හය දෙනෙකු අතර මම බාලයායි. මව හා පියා මිය ගිය කාලයේ මම නිට්ටඹුව ලංගම ඩිපෝවේ රියැදුරෙකු වශයෙන් සේවය කළා. මේ වන විට පුද්ගලික ආයතනයක රියැදුරෙකු වශයෙන් සේවය කරනවා. මම ඒ කාලයේ මාර්ග අංක 221 නිට්ටඹුව-ගිරිඋල්ල බස් රථවල තමයි සේවය කෙරුවේ. ඒ කාලයේ මම පදිංචිව සිටියේ ගිරිඋල්ල මාර්ගයේ පස්යාලේ මගේ මහ ගෙදරයි. අම්මා සිටියේත් මා සමඟයි.
මේ අතර 2006 වසරේදී අම්මා රෝගාතුර වී ඔත්පලව ඇඳට වැටුණා. මොනව කරන්නද රැකියාවත් කර ගෙන අම්මාට ඇප උපස්ථාන කිරීමේ වගකීම මා වෙත පැවරුණා. මම හැමදාම උදේට අම්මව සෝදලා පිරිසිදු කර කවා පොවා වැඩට යනවා.
එහෙම වැඩට ගිහින් බස් එක අරගෙන ගිරිඋල්ලට ගිහින් ආපසු එන විට අම්මා ඇඳ තුළම ජරා කර ගෙන ඉන්නවා.
මට අම්මා ජරා කර ගෙන ඉන්නවා දකින්න බෑ. මේ නිසාම ගිරිඋල්ල සිට නිට්ටඹුවට බස් රථය රැගෙන එද්දී ගේ ළඟ බස් රථය නවතා ගෙදරට ගිහින් අම්මාව සෝදා පිරිසිදු කරගෙන ආපසු එනවා. මේ වැඩේට විනාඩි දහයක පමණ කාලයක් ගත වෙනවා. මම බැහැලා යන්නේ කුමක් සඳහාද කියා මගීන් දන්නේ නෑ. වචනවලින් කියන්න බැරි විදිහට තමයි මට මගීන් බනින්නේ. දිනපතාම මේ අයුරින් මම බස් රථය ගේ ළග නැවැත්වීමට එරෙහිව මගීන් පිරිසක් ඒ කාලයේ ඩිපෝවේ බලධාරින් හට පැමිණිලි කෙරුවා.
එම පැමිණිල්ලට අනුව දවසක් පැමිණිලිකාර මගීන් පිරිසක් හා මාව ඩිපෝ අධිකාරිතුමාගේ කාර්යාලයට කැඳවා පැමිණිල්ල විභාග කෙරුවා. එම අවස්ථාවේ මම බස් රථය නවතා ගෙදරට යන්නේ අම්මා සෝදා පිරිසිදු කිරීමට බව දැන ගැනීමෙන් පසුව පැමිණිලිකාර මගීන් පසුතැවිලි වී මට බස් රථය විනාඩි දහයකට නිවස ළඟ නවතා මවගේ කටයුතු කර ඒමට ඒ මගීන්ම අවසර ලබා දෙන ලෙසට ඩිපෝ අධිකාරිතුමාගෙන් ඉල්ලා සිටියා.
මගීන්ගේ එම ඉල්ලීමත් මා දැක් වූ කරුණුත් සලකා බලා ඩිපෝ අධිකාරිතුමා මා හට දිනපතා මගීන් සමඟම ගේ ළග විනාඩි දහයක් බස් රථය නවතා තැබීමට අවසර ලබා දුන්නා.
මේ අයුරින් වසර තුනක් එක දිගට අම්මා ඔත්පලව සිටියා. මම කවදාවත් අම්මා ජරා ගොඩේ තිබ්බේ නෑ. ඔහොම ඉඳල අම්මා 2009.11.12 වනදා මිය ගියා. තාත්තා තැන්පත් කරපු ස්ථානයේම අම්මාගේ දේහයත් තැන්පත් කෙරුවා. මම බොරු ශෝභනයට නෙමෙයි හැම මාසයකම 12වැනිදා පස්යාල පොදු සූසාන භූමියට ගිහින් පහන් පත්තු කර අම්මා තාත්තා දෙන්නවම සිහිපත් කරන්නේ. මට පුළුවන් විදිහට අම්මට තාත්තට පිං පිණිස සෑම මසකම 12වැනිදා කෑම පාර්සල් කිහිපයක් හරි බෙදා දෙනවා. එයට අමතරව කුඩා දරු දැරියන් කිහිප දෙනෙකුට හරි අභ්‍යාස පොත් බෙදා දෙනවා.
මේවා මම වසර දහතුනක් තිස්සේ කරන්නේ අප්රසිද්ධියේයි. අද මම මේ විදිහට ඉන්නේ මව් පියන් දෙදෙනා නිසාමයි. ඉතින් මගේ යුතුකමක් වගකීමක් වෙනවා මවුපියන් සිහිපත් කිරීම යැයි ද ඒ මහතා කියා සිටියේය.
වසර තුනක් එක දිගට මම අම්මට ඇප උපස්ථාන කිරීම නිසාම කියන්න බැරි සිද්ධියකටත් මට මුහුණ දීමට සිදුවුණා. එයට මම පසුතැවිලි වන්නේ නැහැ යැයි ද ජගත් මහතා අවසානයේ කියා සිටියේය.
අජාසත්ත පුතුන් සිටින රටක වයෝවෘද්ධ මවුපියන් අගුපිල්වලට ගෙනවිත් දමා පැන යන සමහර ලොකු ලොකු තානාන්තර දරන දරු දැරියන් සිටින රටක රියැදුරෙකු වන ජගත් චන්ද්‍රසිරි මහතා රටටම ආදර්ශමත් පුතෙකු බව සඳහන් කළ යුතුමය. මේ නිසාම ඔහුගේ පවුල් ජීවිතය ද අවුල් වී ඇති බව සටහන් කරන්නේ දැඩි කණගාටුවෙනි.
වේයන්ගොඩ විශේෂ
