Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහලේ ගිලන් රථයෙන් සාස්තර බලන්න චාරිකාවක් ගිය රෝහල් කාර්ය මණ්ඩලය

4 years ago

රජයේ රෝහලක ගිලන් රථයකින් සාස්තර අසන ස්ථානයකට රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කල බව කියන දකුණු පළාතේ රෝහල් ප්‍රධානියකු සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කල බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක චන්දිම සිරිතුංග මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය.

පසුගිය බදාදා (17) දින පෙරවරුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කිලෝමීටර් 40 කට ආසන්න දුරක් ගෙවා බටපොල නින්දාන පාසල අසල පිහිටි සාත්තර කියන ස්ථානයකට රෝහලේ ගිලන් රථයෙන් පැමිණ තිබූ බව ප්‍රෙද්ශවාසීන් කියති. එහිදී ගිලන් රථයේ ජායාරුප හා විඩියෝ දර්ශන ලබා ගත් පුද්ගලයින්ට අසත්‍ය ප්‍රකාශ කරමින් එම කාර්ය මණ්ඩලය පැමිණ පැය 02 කට පමණ පසු එම ගිලන් රථයෙන්ම ආපසු හැරී ගොස් තිබෙන බවද දැන ගන්නට තිබේ.

ගිලන් රථයේ රියදුරු එතනට රැස්වූ පිරිස කරුණූ විමසීමේ දී ඔවුන්ට  පවසා ඇත්තේ නින්දාන පාසලට බෙහෙත් ද්‍රව්‍යය ප්‍රවාහනය කල බව යැයිද ප්‍රෙද්ශවාසීන් කියති. නින්දාන මහා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් මේ සම්බනධයෙන් කල විමසීමකදී ඇය ප්‍රකාශ කළේ නින්දාන පාසලට ඔය කියන දවසෙ කිසිම ගිලන් රථයකින් බෙහෙත් ද්‍රව්‍යය හෝ වෙනත් කිසිවක් රැගෙනවිත් භාර නොදුන් බවයි.

ගිලන් රථය භාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමේ දී ඔහු  දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේ ‘තමුසෙ කොහොමද? පාරේ තියෙන වාහන ජායාරූප හා විඩියෝ ගත කරන්නෙ, රෝහලේ වාහන රාජකාරිවලට තමයි යන්නෙ, තමුසෙගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නව ඕයි‘ යනුවෙනි.

මේ පිළිබදව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක චන්දිම සිරිතුංග මහතාගෙන් කල විමසීමේ දී මෙසේ කීය.

ඔයකියන සිද්ධිය සම්බන්ධව මම පරික්ෂණයක් කිරිමට අදාල අංශ දැනුවත් කලා. රෝහලකින් රෝහලකට ගිලන් රථයක් ධාවනයේ යොදවනවානම් එහි රාජකාරී පොතේ සටහන් විය යුතුයි. එම රෝහලේ සිට ලෙඩකු තවත් රෝහලකට ප්‍රවාහනය කිරීමට පෙර අදාල වෛද්‍යවරයා විසින් නීත්‍යානුකූලව සටහන් තබා රියදුරාට රාජකාරි පැවරිය යුතුයි යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් රජයේ වාහන අවභාවිතා කරමින් රෝගීන්ගේ සේවාවන් සඳහා යොදවා තිබෙන ගිලන් රථයකින් පේන කියන සාත්තර පොලවල් වලට යන්නට කිසිසේත්ම අවසරයක් නැහැ. ඒ ගැන වහාම පරික්ෂණයක් කරනවා යැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-ජයකාන්ත ලියනගේ-