ගායන ශිල්පී තිලංක විදූෂ නොහොත් “චිලී” යන අයගේ එරෙහිව 2014 වසරේ සිට විභාග වූ නඩුවක් ඊයේ (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අවසන් කර තිබෙනවා.
ඒ අනුව, ඩෙංගු පරීක්ෂාවක් සඳහා නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, පහරදීමට තැත් කිරීම සහ බියගැන්වීම ඇතුළු චෝදනා හතරකට අදාළව ඔහු වැරදිකරු බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව එක් එක් චෝදනාව සඳහා රුපියල් 1,500 බැගින් දඩ නියම කළ මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා, සිද්ධියෙන් පීඩාවට පත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙසද නියෝග කළා.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ අධිකරණයට නොපැමිණි බැවින්, එම වන්දි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය 2014 වසරේ තලංගම ප්‍රදේශයේ පිහිටි චිලීගේ නිවසේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ වාර්තා වූ අතර, එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට බලහත්කාරය පෑම සහ පහරදීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.
