ගම්පොළ නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු ගම්පොළ, උඩෝවිට අසල පිහිටි මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන්ව ඇති බව ගම්පොළ පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේම පදිංචිව සිටි පාසල් සිසුවෙකි. ඊයේ (22) පස්වරුවේ පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සහෝදරයා සහ තවත් සිසුවෙකු සමඟ අදාළ සිසුවා මෙලෙස ගඟ වෙත ගොස් තිබේ.
ඔවුන් දිය නෑම සඳහා බැස ඇති ස්ථානයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් අඩි ගණනාවක ගැඹුරු ආවාට සෑදී ඇති බවත්, එම ස්ථානයේ සැඩ දිය පහරක් පවතින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඊයේ රාත්‍රිය වන තෙක්ම ප්‍රදේශවාසීන් එක්ව සිසුවා සොයා දැඩි වෙහෙසක් දැරුවද ඔහු සොයා ගැනීමට හැකිවී නොමැත.
ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අද (23) දිනයේදී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් කැඳවා සිසුවා සොයා විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
