සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(21) නිවේදනය කළා.
මෙම තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවයි.
වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධනද, පනත් කෙටුම්පත ‘කාරක සභා අවස්ථාවේදී’ ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇතැයි ඔහු පැවසුවා.
ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලබා දුන් එකඟතාවන්ට අනුකූලව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65, සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතුයි.
එමෙන්ම කාරක සභා අවස්ථාවේදී 6 වන වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත්කළ යුතු අතර, 15, 16, 17 සහ 33 යන අයිතම පළමු උපලේඛනයෙන් ඉවත් කළ යුතු බවටත් එවකට වැඩබලන නීතිපතිවරයා විසින් යෝජනා කර තිබූ බව කථානායකවරයා විසින් මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසත් මෙහිදී ඔහු නියම කළා.
