මුලතිව් කොම්බාවිල් පාසලෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අයදුම්පත් යොමු කළ සිසුවෙකුට විභාගය ලිවීමට අවසර දිය නොහැකි බවට පාසලේ පාලන අධිකාරිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 8 දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවට වාර්තාවනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලතිව් කාර්යාලයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම පුතා ශිෂ්‍යත්ව විභාගයට අයදුම් පත් යැවීමෙන් පසුව හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා කපාට සැත්කමකට භාජනය කළ බවයි.
මේ හේතුව මත දින 42 ක් පාසල් යාමට තම පුතාට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා පාසලටද ඉදිරිපත් කොට ඇති බවත් දෙමව්පියන් ප්‍රකාශ කරනවා.
කෙසේ වුවද තම පුතාට විභාගය ලිවීමට ඉඩ ලබාදිය නොහැකි බව පාසලේ ගුරු මණ්ඩල සාකච්ඡාවකදී තීරණය කළ නිසා පන්තිභාර ගුරුවරිය විසින් සිසුවාගෙන් විභාගයට පෙනී නොසිටින බවට ලිපියකටද අත්සන් ලබා ගෙන ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සදහන්.
මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරියද මීට වසර දෙකකට පමණ ඉහතදී මෙම පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 167 ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දී තිබෙන අතර මෙවර විභායට මුහුණ දීමට සිටින සිසුවාද මෙතෙක් පාසලෙන් පවත්වන ලද විභාග පෙරහුරු ප්‍රශ්නපත්‍රවලට ලකුණු 70 ඉක්මවා ලකුණු ලබා ගෙන ඇති බවද දෙමාපියන් පවසනවා.
පසුගිය සතියේ පවත්වන ලද පෙරහුරු පරීක්ෂණයකදී ලකුණු 70 කට වඩා අඩුවෙන් ගැනීම මත විදුහලේ බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවත් එය ඉතා අසාධාරණ තීරණයක් බැවින් තම පුතාට මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීමට අවසර ලබාදීමට මැදිහත් වන ලෙසත් ඔවුන්ගේ පැමිණිල්ලෙන් ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙනවා.
මේ පිළිබදව අදහස් ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා යම් අසාධාරණයක් එම සිසුවාට සිදුව ඇත්නම් ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන බවයි.

