Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් රටම බලා සිටි නිධානයේ කැණීම් නවතී

2 years ago

අධිකරණ නියෝගයකට අනුව රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරුවේ අවසන් කෙරුණි.

ඒ එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොවීම හේතුවෙනි.

මෙම ස්ථානයේ නිධානයක් ඇති බවට පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණි.

කෙසේ වෙතත් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවුණි.

ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීය.

ඒ අනුව නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව අද පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරුණි.

එහි සිටි පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් එළැඹෙන අඟහරුවාදා දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය.