ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පසුගිය 18 වැනිදා සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ.
වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු වන ඔහු අදාළ නිවසේ හුදෙකලාව ජීවත්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පසුගිය 18 වැනිදා පස්වරුවේ නිවස දෙසින් දුගඳක් හමන බවට ඇති වූ සැකයක් මත ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර ඇති අතර, අනතුරුව සිදුකළ පරීක්ෂාවකදී නිවස තුළ තිබී මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
මළ සිරුර හමුවන අවස්ථාව වනවිට ඔහු මියගොස් දින දෙකක් පමණ ගතවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂිකා, සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබෙනවා.
මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
