යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් පත්කළ එම සැලැස්ම සම්බන්ධ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම්වත් කිරීම සිදු කර ඇත.
සාකච්ඡාවේ ප්‍රධාන කරුණු සැකෙවින්:
- බෞද්ධ උරුමය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම: අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩක් බවත්, එහි බෞද්ධ උරුමය හා පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
- බැතිමතුන්ගේ පහසුකම්: අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.
- මහා සංඝරත්නයේ සහ නිලධාරීන්ගේ අදහස්: උරුමයන් ආරක්ෂා කරමින් පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ විරෝධතාවයක් නොමැති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසූ අතර, මෙවැනි සංවේදී කරුණකදී සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි ප්‍රකාශ කළහ.
