Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ කළ ප්‍රකාශයට පෝද්දල ජයන්ත ප්‍රතිචාර දක්වයි

41 minutes ago

තමන්ව හඳුනන්නේ නැති බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ කළ ප්‍රකාශයට විදේශගතව සිටින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුමේ දීර්ඝ සටහනක් තබමින්.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන් සහ මාධ්‍යවේදී සනත් බාලසූරිය ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා තර්ජනය කළ බවට පෝද්දල ජයන්ත එම සටහන මගින් චෝදනා කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පැවති උද්ඝෝෂණයකින් අනතුරුව එම හමුව සිදුවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව තවදුරටත් විරෝධතා සංවිධානය කළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ගෝඨාභය රාජපක්ෂ එහිදී අනතුරු ඇඟවූ බවද පෝද්දල ජයන්ත පවසනවා.

එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ල ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවයි ඔහු සඳහන් කළේ.

අදාළ තර්ජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගියද, එහි නිලධාරීන් එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවට ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන් මාස කිහිපයකට පසු තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහරදුන් බවත්, එහිදී සිය වම් පාදයට බරපතළ තුවාල සිදුවූ බවත් පෝද්දල ජයන්ත සිහිපත් කර තිබෙනවා.

එම සිදුවීමෙන් අනතුරුව දින 28ක් රෝහල්ගතව සිටීමටත්, මාස හයක කාලයක් ඇඳට සීමා වී සිටීමටත් සිදුවූ බව පවසන ඔහු, අදටත් අර්ධ ආබාධිත තත්ත්වයකින් පසුවන බවයි සඳහන් කරන්නේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් අතුරුදන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ තමන් පෝද්දල ජයන්ත හඳුනන්නේ නැති නමුත් බන්දුල පද්මකුමාර හඳුනන බවයි.

”මට වධ හිංසා කළ අයට මාව අමතක වී තිබෙන්නට පුළුවන්. නමුත් මට වධ හිංසා කළ අයව මට අමතක වී නැහැ” යනුවෙන් පෝද්දල ජයන්ත සිය සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.