ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ (SLT) දෙවැනි විශාලතම කොටස් හිමි සමාගමේ හිමිකරු වන, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැලේසියානු ව්‍යාපාරික ටී.ආනන්ද ක්‍රිෂ්ණන් අභාවප්‍රාප්ත වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මියයන විට 86 වියේ පසු වූ ඔහුගේ මරණය ස්වභාවික මරණයක් බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කොට ඇත. ඔහුගේ බිරිද Momwajarongse Suprintha Chakrapan තායි රාජකීය පවුලේ සාමාජිකාවකි.
Forbes සඟරාවට අනුව මැලේසියාවේ සය වැනි ධනවත්ම පුද්ගලයා වන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 5.1කි.
ශ්‍රී ලංකාවේ සිට එවකට බ්‍රිතාන්‍ය මලයාවට ගිය සිවිල් සේවකයෙකුගේ පුතෙකු වූ ඔහු හැදී වැඩුණේ ක්වාලාලම්පූර්හි ය. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු 1964 දී හාවඩ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය.
ඛනිජ තෙල් හා වායු, විදුලි සංදේශ හා චන්ද්‍රිකා විකාශනය දක්වා ඔහුගේ ව්‍යාපාරික ජාලය විහිදෙයි.
2007 වර්ෂයේදී ජපාන සමාගමක් වන NTT සතුව තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීම හරහා ආනන්ද ක්රිෂ්ණන්ගේ Global Telecommunications Holdings N.V සමාගම ශ්‍රී ලංකා රජයට පසු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමියා බවට පත් විය.
ව්‍යාපාරික සාර්ථකත්වයෙන් ඔබ්බට, ඔහු දානපතියකු සහ බෞද්ධයකු ලෙස ද ප්රකටව සිටියේය.
ක්රිෂ්ණන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතකු සිටින අතර එම පුත්‍රයා පසුව බෞද්ධ භික්ෂුවක් බවට පත්විය.
