Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය නිලධාරීන්ට රුපියල් ලක්ෂයක ප්‍රවාහන දීමනාවක්

3 minutes ago

නිල වාහන ලබාදීම වෙනුවට රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ප්‍රවාහන දීමනාව සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම දීමනාව ලබාගන්නා නිලධාරීන් නිල වාහන අවභාවිත කිරීම වැළැක්වීම සඳහා නව නීතිරීති දැඩි කිරීමට ද රජය සැලසුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, තම පෞද්ගලික වාහන භාවිත කරන රාජ්‍ය නිලධාරීන්ට මාසිකව රුපියල් 100,000ක ප්‍රවාහන දීමනාවක් ලබාදෙන අතර, එම දීමනාව ලබාගන්නා අතරතුර නිල වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබේ.

මීට පෙර රුපියල් 50,000ක්ව පැවති මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 100,000 දක්වා ඉහළ නංවා තිබුණ ද ඇතැම් නිලධාරීන් තවදුරටත් නිල වාහන භාවිත කරන අවස්ථා වාර්තා වී ඇති බවද පැවසේ.

ඇතැම් නිලධාරීන් සිය පෞද්ගලික වාහනවලින් රාජකාරියට පැමිණිය ද පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට යන අවස්ථාවලදී ආයතන නිල වාහන භාවිත කරන බව ද හෙළිව ඇත.


නව චක්‍රලේඛයේ නියමයන් උල්ලංඝනය කරන නිලධාරීන්ට දූෂණ විරෝධී නීති ඇතුළු අදාළ නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව සඳහන් වේ.

රාජ්‍ය වාහන නඩත්තු කිරීම සඳහා රජයට දැරීමට සිදුවන අධික වියදම අවම කිරීම, ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සහ රියැදුරන් සඳහා දැරීමට සිදුවන වියදම් සීමා කිරීම මෙම ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීමේ ප්‍රධාන අරමුණු බව පැවසේ.