මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රෝහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසනවා.
ඔහු ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ව මියන්මාරයට පිටුවහල් නොකරන ලෙසයි.
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධීවරයන් විසින් දෙසැම්බර් 19 වැනිදා බේරාගෙන රජයට බාරදීමෙන් පසු මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින එම සරණාගතයන් පිරිස යළිත් මීයන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය තම බලවත් කම්පාවට හේතු වන බවද එම ලිපියේ සඳහන් සඳහන් වනවා.
යුද බියෙන් ජීවිත බේරා ගැනීමට පලායන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් 40කට වැඩි සංඛ්‍යාවක් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇතැයිද ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබාගැනීම බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කරනවා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීම බව සඳහන් කරන මන්ත්‍රීවරයා එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව සඳහන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සරණාගත පිරිස නැවත මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මූලධර්මයට ද හරස්ව යාමක් බවයි.
