Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගොවියා ආරක්ෂා කිරීමට ජනපති තීරණ රැසක් ගනී

2 years ago

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළා.

කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් සිදු වන පරිදි මිලගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

මේ අතර යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වාදී තිබේ.

ඒ, වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගතයුතු ඉදිරි පියවර සහ මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ අද පැවැති සාකච්ඡාවකදී ය.

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය. 

එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය වූ 3% – 4%ක  මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.