ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ (11) පැවැති රැස්වීම අතරතුර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හදිසියේ සිහිසුන් වී රෝහල්ගත කිරීමත් සමඟ සභාවේ කටයුතු අතරමඟ නතර කිරීමට සිදුවිය.
සභාපති සනත් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ වූ අවස්ථාවේ සිටම විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වීම හේතුවෙන් සභාව තුළ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබුණි.
ප්‍රාදේශීය සභා රැස්වීම සහ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එකම දිනක යොදා ගැනීමට එරෙහිවත්, 78 වන නිදහස් දින සැමරුමේදී ජනාධිපතිවරයා රණවිරුවන් හෑල්ලුවට ලක් කළ බවට චෝදනා කරමිනුත් විපක්ෂ මන්ත්‍රීවරු මෙලෙස විරෝධය පළ කළහ. සභාපතිවරයාගේ ඉල්ලීම් නොතකා මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කළ අතර, පසුව සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි විය.
එහිදී විශේෂ ප්‍රකාශයක් කළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී දීපාල් විතානාච්චි මහතා අවධාරණය කළේ වත්මන් රජය රණවිරුවන් දේවත්වයෙන් සලකන බවත්, අසාධාරණයට ලක්වූ රණවිරුවන්ට සහන සැලසීමට රජය සැමවිටම සූදානම් බවත්ය. විපක්ෂයේ මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා ඊට පිළිතුරු කතාව සිදු කරමින් සිටියදී, මන්ත්‍රී දීපාල් විතානාච්චි මහතා එක්වරම සිය අසුන මත සිහිසුන්ව ඇද වැටී තිබේ.
වහාම ක්‍රියාත්මක වූ සභාපතිවරයා ඇතුළු පිරිස ඔහුව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ. හිටපු නාවික හමුදා නිලධාරියෙකු ද වන විතානාච්චි මහතාගේ තත්ත්වය මෙතෙක් යථා තත්ත්වයට පත්ව නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම සිදුවීමත් සමඟ සභාවේ කටයුතු අවසන් කෙරුණු අතර, මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගේ සුවදුක් විමසීමට රෝහල වෙත ගොස් තිබුණි.
