නාසා (NASA) ආයතනයේ වොයේජර් 1 (Voyager 1) අභ්‍යවකාශ යානය, අභ්‍යවකාශයේ ආලෝක දිනයක් (Light-day) සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට ආසන්නව තිබේ.
අභ්‍යවකාශයේ සැතපුම් බිලියන 16.09ක දුරක් ගමන් කිරීමෙන් පසුව ආලෝක දිනයක් සම්පූර්ණ වන අතර, වොයේජර් 1 යානය එළැඹෙන නොවැම්බර් 18 වැනිදා වන විට එම ඓතිහාසික දුර ප්‍රමාණය සපුරනු ඇතැයි නාසා ආයතනය නිවේදනය කරයි.
වොයේජර් 1 යානයේ ඓතිහාසික ගමන් මඟ:
- අභ්‍යවකාශගත කිරීම: 1977 සැප්තැම්බර් 5 වැනිදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට ගුවන්ගත කෙරිණි. මූලික අරමුණ වූයේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති සහ සෙනසුරු මෙන්ම ඒවායේ චන්ද්‍රයන් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමයි.
- ප්‍රධාන සොයාගැනීම්: සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ‘ටයිටන්’ (Titan) මත නයිට්රජන් බහුල ඝන වායුගෝලයක් ඇති බව තහවුරු කළේ වොයේජර් 1 යානය විසිනි.
- Pale Blue Dot ඡායාරූපය: 1990 පෙබරවාරි 14 වැනිදා, පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක් පමණ ඈත සිට පෘථිවිය දෙසට කැමරාව හරවා ලෝක ප්‍රකට ‘Pale Blue Dot’ ඓතිහාසික ඡායාරූපය ලබා ගත්තේද මෙම යානයයි.
- අන්තර් තාරකා අවකාශයට පිවිසීම: වසර 5කට සීමා කර තිබූ ප්‍රධාන මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, 2012 අගෝස්තු 25 වැනිදා සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය පසුකර අන්තර් තාරකා අවකාශයට (Interstellar space) ඇතුළු වූ පළමු මිනිස් නිර්මාණය බවටද වොයේජර් 1 පත්විය.
මේ අතර, වොයේජර් 1 යානය අභ්‍යවකාශගත කරන අවස්ථාවේ ඊට ඇතුළත් කළ දත්ත පිළිබඳව නාසා ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා ද විශේෂ අදහස් පළ කර තිබේ.
