හොරණ කොට්ටාව මාර්ගයේ මත්තේගොඩ හන්දිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදි තුනක සහ ත්‍රීරෝද රථයක ගැටී අද (16) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පස්දෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
හොරණ දෙස සිට කොට්ටාව දෙසට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මත්තේකට හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි තුනක හා ත්‍රී රෝද රථයක ගැටී තිබෙනවා.
අනතුරට පත්වූ යතුරුපැදි දෙකකට බරපතල හානි සිදුව ඇති අතර ත්‍රීරෝද රථයට ද හානි සිදුව තිබුණා.
අනතුරට හේතුව මෝටර් රථයේ රියැදුරුට නින්ද යාම බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
