Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය පිළිබඳව දැනුම්දීමක්

14 minutes ago

2026 වර්ෂයට අදාළ බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට (30) සහ අනිද්දා (01) යන දෙදින තුළ නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය පවසයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ 6 සහ 7 ශ්‍රේණි සඳහා ගණිතය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයයන්ට අදාළව ද, 8 සහ 9 ශ්‍රේණි සඳහා විද්‍යාව හා සෞන්දර්ය විෂයයන්ට අදාළව ද වාර විභාගය පැවැත්වීමට නියමිතය.

මෙම විභාගය සඳහා අවශ්‍ය ලිඛිත ප්‍රශ්න පත්‍ර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර ඇති අතර, ඒවා මේ වන විට කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ආරක්ෂිතව ලබාදීමට පියවර ගෙන ඇති බවද ඒ මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව, 6 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 145,383ක් සහ 7 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 150,263ක් මුද්‍රණය කර තිබේ.

එමෙන්ම, 8 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 145,437ක් සහ 9 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න පත්‍ර 144,527ක් වශයෙන් සමස්ත ප්‍රශ්න පත්‍ර 290,008ක් මුද්‍රණය කර ඇති බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග එක්ව විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.