ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.
බංග්ලාදේශය සමග පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරය අවසානයේ වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.
මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර තිබේ.
ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග 4ක් හෝ 20-20 තරග 4ක තහනමක් පැනවෙනු ඇති.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමගත් වනිඳු හසරංග බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ නම් කර තිබුණි.
ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙයි.
යම් හෙයකින් වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් කර නොතිබුණේ නම් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුට පළමු තරග 4 අහිමිවීමට ඉඩ තිබුණි.

