ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු මෙන්ම එරට ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි පුරෝගාමියා ලෙස සැලකෙන හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වුණා.
හිටපු අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වන විට අනූ දෙහැවිරිදි වියේ පසුවුවා.
ආචාර්ය මන්මෝහන් සිං 2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දියාවේ 13න් වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
ජවහල්ලාල් නේරු, ඉන්ධීරා ගාන්ධි හා නරේන්ද්‍ර මෝදිගෙන් පසුව දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා ලෙස ද ඔහු හැදින්විය හැකියි.
ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජිකයෙකු ලෙස දේශපාලනයේ නිරත වු මන්මෝහන් සිං ඉන්දියාවේ ප්‍රථම සික් ජාතික අග්‍රාමාත්‍යවරයා ද වනවා.
එමෙන්ම ජවහල්ලාල් නේරුගෙන් පසු වසර 5ක ධුර කාලයකින් අනතුරුව නැවතත් එම ධුරයට තේරීපත්වු ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ද ඔහුයි.
1991 වසරේ දී ඉන්දියාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුද සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩභාර ගත් මන්මෝහන් සිං ඉන්දියාවේ ආර්ථිකය නිදහස් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ එක්කරමින් ගොඩනැගු පුද්ගලයා ලෙස ද ගෞරවයට පාත්‍ර වනවා.
ඉන්දියාවට කීර්තිමත් දේශපාලඥයෙකු අහිමි වු බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ආචාර්ය මන්මෝහන් සිංගේ වියෝව හේතුවෙන් ඉන්දීය රජය දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර අද (27) දිනයට සැලසුම් කර ඇති රජයේ සියලු වැඩසටහන් අවලංගු කර ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම අද (27) උදෑසන හදිසි අමාත්‍ය මණ්ඩල හමුවක් ද කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.
