සෞදියේ ‘නිදා සිටින කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත් අල්වලීඩ් බින් කලීඩ් කුමරු, මියගොස් තිබෙනවා.
ඒ වසර 20ක් කෝමා තත්ත්වයෙන් පසුවෙමින් සිටියදීයි.
විදෙස් වාර්තා අනූව සෞදියේ අල්වලීඩ් බින් කලීඩ් කුමරු ඊයේ (19) මියගොස් තිබෙනවා.
අවමංගල්‍යය අද (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.
1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා විය.
පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය බව සඳහන් වේ.
ලන්ඩනයේදී 2005 දී සිදු වූ බරපතල රිය අනතුරක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත්වූ ඔහු වසර 20කට පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.
මෙම අනතුර සිදුවන විට අල්වලීද් කුමරාට වයස අවුරුද 15ක් වූ අතර ඔහු ඒ වන විට එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට තිබෙන අතර එම අනතුරින් මොළයට බරපතල තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතිව තිබෙන බව සඳහන්.
එබැවින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත්, පසුව ඔහුව සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙනවිත් ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රථිකාර ලබමින් සිට තිබුණි.
ඒ අනුව ඔහුව “Sleeping Prince” ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටි නමුත් ඉඳහිට සියුම් චලන දැක්වූ බව සඳහන් වේ.
2019 වසරේදී එනම් අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයට පත්වීමෙන් වසර 14කට පසු ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් දැකගත හැකි විය.
ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.
ඔහු පවසා ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය.
