මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ඉහළ අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තරගාවලිය මෙරට දේශගුණික තත්ත්වයන් යටතේ පැවැත්වීම කණ්ඩායමට විශාල ශක්තියක් වන බවයි.
ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනමනු ලබන නිල ලෝක කුසලානය ඊයේ (23) කොළඹ එස්.එස්.සී. (SSC) පිටියේදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් නායක දසුන් ශානක මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් දක්ෂතා සහ සූදානම පිළිබඳව අදහස් දැක්වූ දසුන් ශානක මෙසේ සඳහන් කළේය:
“රටක් විදිහට හොඳින් සෙල්ලම් කරලා නැවත වතාවක් අවසන් මහා තරගයකට (Final) එන්න අපට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙනවා. අපේම රටේ තත්ත්වයන් (Conditions) යටතේ සෙල්ලම් කරන නිසා අපට හොඳ වාසියක් (Chance එකක්) තිබෙනවා. මට කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.”
