ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස්, එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමයේ (Marine Biological Association – MBA) ගෞරවනීය අධිසාමාජිකාවක් ලෙස පත් කර තිබෙනවා.
එම සංගමයේ රාජකීය ප්රඥප්තියට (Royal Charter) අනුව, සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්රය වෙනුවෙන් ඉහළ මට්ටමින් සිදු කරන ලද සුවිශේෂී සහ බලපෑම් සහගත දායකත්වයන් ඇගයීම සඳහා මෙම ගෞරවනීය පදවිය පිරිනමනු ලබන බවයි සඳහන්.
පසුගිය නොවැම්බර් 18 වැනිදා නිවේදනය කරන ලද මෙම පත්වීම මගින් ඇය දශක ගණනාවක් පුරා සමුද්‍ර ක්ෂීරපායින් පිළිබඳව සිදු කළ පර්යේෂණ, සාගර සංරක්ෂණය, අධ්‍යාපනය සහ විද්‍යා සන්නිවේදනය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීමට ලක් කර තිබෙනවා.
ආචාර්ය ආශා ඩි වොස්ගේ සුවිශේෂී මෙහෙවරයන්,
උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් (Blue Whales) පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණ ආරම්භ කළ පුරෝගාමී විද්‍යාඥවරිය වන ඇය, ශ්‍රී ලංකාව අවට වෙසෙන නිල් තල්මසුන් සාමාන්‍ය සංක්‍රමණික රටාවන්ට අනුව ගමන් නොකරන බව ලොවට අනාවරණය කර තිබෙනවා.
ඇය ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය (Deep-sea explorer) මෙන්ම සමුද්‍ර ක්ෂීරපායින් පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද වන බවයි සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන ආයතනය වන ‘Oceanswell’ ආයතනයේ නිර්මාතෘවරිය ලෙස ඇය සමුද්‍ර සංරක්ෂණ ක්ෂේත්රයේ විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් ප්රබලව පෙනී සිටිය බවයි සඳහන් වන්නේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක මෙන්ම බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ අධිසාමාජිකාවක ලෙස ද ඇය කටයුතු කරනවා.
මීට පෙර BBC මාධ්‍ය ජාලයේ ලොව බලපෑම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට එක්වීමට මෙන්ම, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ඡායාරූපයක් ප්‍රදර්ශනය කෙරුණු පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීමේ ගෞරවය ද ඇයට හිමි වනවා.
