ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ.
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බවය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ගිණුම් අංශ, ඉඩම් අංශ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ ආගමන විගමන කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලින් විශාල ප්‍රමාණයක් සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බැවින්, ඔවුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කටයුතු අඩාල විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති රැසක්ද එක්ව සිටින බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව වෘත්තීය සමිති 12ක එකතුවකින් මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබේ.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අනුරාධ සෙනවිරත්න මහතා පැවසීය.
එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් අවධානයක් යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී මීට වඩා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බවද සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
