දිවයිනේ උඩරට සහ පහතරට එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එළවළු වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින්ද දැඩි අසීරුතාවකට පත්ව තිබනෙ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, මේ වනවිට මාළු මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1,000ත් අතර මිලකටත්, වම්බටු රුපියල් 500කටත්, අමු මිරිස් රුපියල් 800කටත් අලෙවි වන බව වෙළඳුන් පවසනවා.
එමෙන්ම, බෝංචි කිලෝවක් රුපියල් 450ක්, කැරට් රුපියල් 600ත් 700ත් අතර මිලක්, වට්ටක්කා සහ අළු කෙසෙල් රුපියල් 400ක් බැගින් අලෙවි වනවා.
ගෝවා කිලෝවක් රුපියල් 600ත් 650ත් අතර මිලකටත්, පිපිඤ්ඤා රුපියල් 350කටත්, තක්කාලි සහ කරවිල රුපියල් 800කටත්, පතෝල රුපියල් 600කටත්, නුවරඑළිය අර්තාපල් රුපියල් 450කටත් අලෙවි වන බව සඳහන්.
මේ අතර, දෙහි කිලෝවක මිල රුපියල් 2,000ක් දක්වාත්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 800ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදුවීමත් සමඟ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් මිලදී ගැනීම් සීමා කර ඇති අතර, ඒ හේතුවෙන් සිය ව්යාපාරික කටයුතුවලටද බලපෑම් එල්ල වී ඇති බව හැටන් ප්රදේශයේ එළවළු වෙළඳුන් පවසනවා.
