වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව ඇයට දඬුවම් නියම කිරීම සඳහා අදාළ නඩුව ලබන ජනවාරි 14 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.
අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ, මීට පෙර ඉදිරිපත් කළ නිවැරදිකරු බවට වූ විත්තිවාචකය ඉවත් කර ගනිමින් ඇය චෝදනාවලට වරද පිළිගන්නා බවයි.
එම කරුණ සටහන් කරගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, විත්තිකාරියට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තැබුවා.
එමෙන්ම ඇයගේ ඇඟිලි සලකුණු ලබාගෙන අදාළ වාර්තා කැඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
2015 ජූලි 16 වැනිදා සිට 2016 ජූලි 16 වැනිදා දක්වා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර තිබුණා.
