ශ්රී ලංකන් ගුවන් සමාගම මිල දී ගැනීම සදහා සුප්රසිද්ධ ටාටා සමාගමේ මව් සමාගම වන ටාටා සන්ස් පුද්ගලික සමාගම සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ශ්රී ලංකන් ගුවන් සමාගම සදහා විදේශ ආයෝජකයෙකු සොයමින් සිටියද, සමාගම සතු දැවැන්ත ණය කන්දරාව හේතුවෙන් කිසිදු ගැනුම්කරුවෙකු සොයා ගැනීමට මේ දක්වා නොහැකි වී තිබුණි.
අවසානයේ දී, සමාගමේ ණය බර භාරණ්ඩාගාරය භාර ගනිමින්, ඉදිරි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේ වගකීම පමණක් නව ආයෝජකයාට පැවරීමේ එකගතාවයට ශ්රී ලංකා රජය පැමිණ තිබුණි.
ශ්රී ලංකා ගුවන් සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන ටාටා සන්ස් සමාගම, පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දියානු ජාතික ගුවන් සේවයද මිල දී ගත්තේ ය. ඊට අමතරව, තවත් ඉන්දීය ගුවන් සේවා සමාගම් කිහිපයක්ම ටාටා සන්ස් සමාගම සතුය.
එමෙන්ම, ටාටා සන්ස් සමාගම, ඩොලර් බිලියන 85 ක් වටිනා ගුවන් යානා ඇණවුම් කර තිබෙන අතර බෝයින් වර්ගයේ ගුවන් යානා 222 ක් ද ඇතුළත් එම ඇණවුම, එදා මෙදා තුර ඉතිහාසයේ දැවැන්තම ගුවන් යානා ඇණැවුම බව වාර්තා වේ.

