ඉන්දියාව සහල් අපනයනය නතර කිරීමත්, මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය සහ යල කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩුවීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.
රටේ පුද්ගලික අංශය සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් විමසීමක් කර ඇතත් එම තොග සම්බන්ධව කිසිදු තොරතුරක් ලබා දී නැතැයි අනාවරණය වේ. එමෙන්ම මෙම සහල් සංචිත පිළිබඳව ජනාධිපති කාර්යාලයේවත් තොරතුරු නොමැති බවද සඳහන්ය.
එමෙන්ම, වියළි කාලගුණික තත්ත්වය බරපතළ වේයැයි බියෙන් ගොවීන් වී තොග අලෙවි නොකර සිය නිවාසවල ගබඩා කරගෙන සිටින බවද අනාවරණය වේ.
ඉන්දියාව ඇතුළු රටවල් සහල් අපනයනය නතර කර ඇති අතර මේ වන විට මෙරටද ආනයනික සහල් තොග ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වියළි කාලගුණික තත්ත්වය නිසා යල කන්නයේ සමස්ථ අස්වැන්නෙන් සියයට දහයක (10%) පමණ ප්‍රමාණයක් අඩුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පැවැසීය.
නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ සහල් හිඟයක් ඇති නොවුවද සහල් මිලෙහි ඉහළ යාමක් සිදු විය හැකි බවයි.

