Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

MTFE ආයතනය නීති විරෝධීව එක්රැස් කළ දැවැන්ත මුදල් සම්භාරය පිළිබඳව අධිකරණයේදී හෙළි වෙයි

3 years ago

කැනඩාවේ මූලස්ථානය පිහිටා ඇති එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනය රුපියල් කෝටි 100 කට අධික මුදලක් නීති විරෝධී අයුරින් මහජන තැන්පතු ලෙස එක්රැස් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (21) දැනුම් දුන්නේය.

මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති ආයතනයක් බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ ආයතනය මෙරට විශාල පිරිසකගේ රුපියල් කෝටි ගණනින් මුදල් එක්රැස්කර තිබෙන බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ යැයි ද දන්වා සිටියේය.

මෙම ආයතනය 2022 වසරේදී සමාගම් මැදුරේ ලියාපදිංචි කර තිබුණ නමුත් එහිදී ද සිය සමාගම කරන කටයුතු නිවැරදි ආකාරයෙන් දක්වා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් (23072) විජිත රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.

පිරමීඩ ආකාරයේ සැකකටයුතු මුදල් ගනුදෙනු කරන ලදැයි චෝදනා එල්ල වී ඇති අදාළ ආයතනයේ ප්‍රධානීන් 05 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉකුත් දා නියෝග කළේ ය.

එලෙස විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හෝමාගම, පනාගොඩ, හයිලෙවල් පාර, අංක 521/බී ලිපිනයේ පදිංචි ආර්. ඩී. ඩී. තුෂාර ජයවංශ විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ඉදිරිපත් කර තිබිණි.

නීති විරෝධී මුදල් ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන හෙයින් අදාළ ඉල්ලුම්කරුට අපේක්ෂිත ඇප දුනහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලට බාධා ඇති විය හැකි බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කළේ ය.