ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසමින් SMS පණිවිඩ මෙම දිනවල බොහෝ පිරිසකට ලැබී තිබෙනවා.
එම SMS පණිවිඩය තුළ link එකක් ඇතුලත් කර ඇති අතර එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වන ආකාරය දිස් වේ.
නමුත් එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවන අතර තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියකි.
එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එම විස්තර ඇතුළත් කිරීමෙන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවිය යුතු බවත් ඒ සඳහා ඔබගේ බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුළත් කරන ලෙසත් පවසනවා.
මෙම SMS පණිවිඩයට රැවටී බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුළත් කළ බොහෝ පිරිසකගේ ගිණුමේ තිබුණු සියලුම මුදල් නැති වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා සඳහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණය වී ඇති බවයි.
එවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස එතුමා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සම්පත් බැංකුව මගින්ද තම සමාජ මාධ්‍ය ගිණුම්හි සටහන් තබමින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කර සිටිනවා.


