Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිලෙන් ජනතාවට සැලකිය යුතු සහනයක් ලැබෙන ලකුණු! ඇමතිගෙන් ප්‍රකාශයක්!

3 years ago

නැවත වතාවක් ඉන්ධන මිලෙහි අඩුවීමක් එළඹෙන මාර්තු මාසයෙන් පසුව බලාපොරොත්තු විය හැකි බවත් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සදහන් කරයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක තවදුරටත් සදහන් කළේ,

” මෑත ඉතිහාසයේ පැවති විශාලම තෙල් සංචිත ප්‍රමාණයක් අප මේ වන විට රඳවා තබාගෙන සිටිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩොලර්වලින් ඉතිරියක් පවත්වාගෙන යාමට ද අපට හැකි වී තිබෙනවා.

බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන අතර සතියකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය එම සතිය තුළම ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා.

අද වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 130,791ක්, පෙට්‍රල් 92 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 83,275ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 8313ක්, පෙට්‍රල් 95 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 11,196ක්, ගුවන් යානා සඳහා භාවිත කරන JET A1 මෙට්‍රික් ටොන් 17,274ක් සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් (FO) මෙට්‍රික් ටොන් 75,410ක් වශයෙන් පවත්වාගෙන යනවා.

ඒ වගේම ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිරි මාස 06කට අවශ්‍ය තෙල් ලබාගැනීම සඳහා දීර්ඝ කාලීන ගිවිසුම්වලට එළඹී තිබෙනවා. එමඟින් අපට බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස මැද භාගය වන තෙක් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වය වී තිබෙනවා. ඊට හේතුව වන්නේ යුරෝපයට සීත සෘතුව පැවතීමත් සමඟ තෙල් භාවිතය අධික වීමයි.

එම කාලය තුළ ඉල්ලුම වැඩිවීමත් සමඟ මිලෙහි ඉහළ යාම සෑම වර්ෂයේම සිදු වන්නක් බව කිව යුතුයි. ඒ අනුව සීත සෘතුවේ අවසානයත් සමඟ මාර්තු මාසයෙන් පසුව තෙල් මිලෙහි අඩුවීමක් අපට බලාපොරොත්තු වන්න පුළුවන්. එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා.

ඒ වගේම 2022 වර්ෂයට පෙර සෑම වසරේම ප්‍රමාද ගාස්තු ගෙවීම සිදු කළා. නමුත් 2023 වසරේ අප නව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළා. නැව් වරායට පැමිණි මොහොතේම ගබඩා කිරීමට කටයුතු කළා. අනතුරුව අප සතුව පවතින ඩොලර් ගෙවීමෙන් පසු තෙල් මිලදී ගැනීම සිදුකළා.

එම ක්‍රමය හරහා වසර 15 කට පසු එක් රුපියලක් වත් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමක් අප සිදු කලේ නැහැ. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව මේ දක්වා ඉන්ධන මිල දී ගැනීම සිදු කළේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ටෙන්ඩර් කැඳවීමෙනුයි.

නමුත් අප විසින් ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවීම සඳහා වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එහි කටයුතු මේ වන විට 95% ක් පමණ අවසන් කිරීමට ද අපට හැකියාව ලැබී තිබෙනවා. තෙල් ගබඩා පර්යන්තය මඟින් ඊට අවශ්‍ය තාක්ෂණික ඥානය අපට ලබාදීම සිදු කරනවා.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මේ බව සදහන් කරයි.