පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නිර්දේශයන් නිකුත් කරන පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (CBSL) සිය සේවකයන්ගේ වැටුප් සහ දීමනා 27% – 70% කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව numbers.lk අනාවරණය කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්, ඔවුන් හා සමාන්තර රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන්ට සාපේක්ෂව ඉතා ඉහළ වැටුප් ලබන බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහකාරවරයෙකුගේ මූලික වැටුප, ප්‍රවේශ මට්ටමේ සිටින වෛද්‍යවරයෙකු ලබා ගන්නා වැටුපට වඩා වැඩි බව numbers.lk පවසනවා.
එමෙන්ම, තරඟ විභාගයක් හරහා බඳවා ගනු ලබන උපාධිධාරීන් වන, රේගු නිලධාරීන් ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ තක්සේරුකරුවන් සහ සුරාබදු පරීක්ෂකවරුන් වැනි රජයට ආදායම් උත්පාදනය කරන ප්‍රධාන තනතුරු දරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල සහකාරවරයෙකු ලබන රුපියල් 55,805 ක මූලික වැටුප් ප්‍රමාණය ළඟා වීම සඳහා වසර ගනණාවක් සේවයේ නිරත වීමට සිදු වන බවද numbers.lk අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ නව වැටුප් සහ රජයේ ඉහළ තනතුරු සඳහා හිමිවන වැටුප් ප්‍රමාණයන් පහතින්.


