ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොංහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාව කණ්ඩායමට වැඩි ගෞරව හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියා.
අද දිනය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 314 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 531 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක හයක් වාර්තා වුවද කිසිදු ශතකයක් වාර්තා නොවීම කැපී පෙනෙන සිදුවීමකි.
එය නව ලෝක වාර්තාවක් බවට පත් වූ අතර කිසිදු ශතකයක් වාර්තා නොවී වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශතකයක් වාර්තා නොවී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් විය.
මීට පෙර ඉන්දියාව 1976/77 තරග වාරයේ දී නවසීලන්තයට එරෙහිව කිසිදු ශතකයක් වාර්තා නොකර ලකුණු 524/9 ක් ලබා එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස් කළ නිශාන් මදුෂංක ලකුණු 57 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, ධනංජය ද සිල්වා ලකුණු 70 ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.
කමිදු මෙන්ඩිස් මේ වන විට ඉනිම් 4ක් සිය ටෙස්ට් දිවියේ දී ක්‍රීඩා කර ඇති අතර, එම සෑම ඉනිමකදීම ඔහු ලකුණු 50 ඉක්මවා රැස් කර තිබෙනවා. එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව තෙවැනි ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.
මේ වන විට කමිදු සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 419 ක්. එයද වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පවතින සුවිශේෂී ලෝක වාර්තාවක් සම කිරීමක් වීමද කැපී පෙනෙනවා.
මීට පෙර පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් 1976 වසරේ දී ද සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී ලකුණු 419 ක් වාර්තා කර තිබුණා.

