ආරුගම්බේ ප්‍රදේශයට අදාළව 2024 ඔක්තෝබර් මස 23 වැනි දින නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් ආරුගම්බේ ඇතුළු, ඒ අවට ප්‍රදේශවල සංචාරය කරන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් යම් අනතුරක් සිදුවනු ඇති බවට ලැබී තිබු බුද්ධි තොරතුරු පදනම් කරගනිමින්, සිය පුරවැසියන්ට නැවත දැනුම් දෙනතුරු එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි පසුගිය 23 වැනිදා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු ඇඟවනු ලැබුවේ.
අනතුරුව ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කරනු ලැබුවා.
එක්සත් රාජධානිය, රුසියාව, නවසීලන්තය, ඔස්ටේලියාව සහ කැනඩාව යන රටවල් ඒ අතර වනවා.
කෙසේ වෙතත් මේ වනවිට අමෙරිකාව විසින් සිය සංචාරක උපදේශය ඉවත් කර තිබෙනවා.
මෙම සිදුවීමත් සමග ආරුගම්බේ ප්‍රදේශයේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් වැඩපිළිවෙලක් දියත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර මාලදිවයින් ජාතිකයෙකුද වන බව සඳහන්.
