දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී අද (14) පෙ.ව 7.00 ට ආරම්භ වූ මහ මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ, අද පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ ඔබට නිල ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇත්නම් එය භාවිත කරන ලෙසත්, නිල ඡන්ද පත්‍රිකාව නොමැති වුවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇති පරිදි ඡන්දය භාවිත කිරීමට හැකි වලංගු හැඳුනුම්පතක් රැගෙන ඡන්ද පොළට යන ලෙසයි.
මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති වලංගු අනන්‍යතා ලේඛනයන් අතරට වලංගු හැඳුනුම්පත (පැරණි / නව), වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පත තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යනාදිය ඇතුළත්.
