Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීවිත 35,000ක් බිලිගත් සුනාමි ව්‍යසනයට විසි වසරක්! ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමට විනාඩි 02ක නිශ්ශබ්දතාවක්!

2 years ago

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා.

අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා.

2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රි ලංකාව , ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා.

ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබු අතර එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

මේ අතර සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2005 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

එහි දී සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කර විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කරනු ඇති.

අද දිනයේ දී ද පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.