කොටහේන, ගල්පොත්ත ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනාම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී ජීවිතාරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ,
“ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා.”
“යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.”
“වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා.”
“වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා.”
“මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා.”
“පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා.”
“එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා.”
“පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.”
“මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබුවා. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.”
