Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවලට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රතිචාර

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණි.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වාර්තා සලකා බලා අවශ්‍ය නම් පමණක් අදාළ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවයි ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේය.