Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්! කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි!

2 years ago

නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් මතු කරමින් පසුගිය දිනවල මෙරට තුළ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කණස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, පෙබරවාරි 19 වන දින බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටියදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වන දින අත්අඩංගුවේ සිටියදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම මුල් කරගනිමින්.

එම නිවේදනය මඟින් නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ, අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අනීතිකව, අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කරන ඝාතන කිසිසේත්ම විසඳුමක් නොවන අතර අපරාධ මැඩපැවැත්විය හැකි වනුවේ රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට පමණක් බවයි.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන පොලිසිය මෙන්ම බන්ධනාගාර බලධාරීන්ද මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ප්‍රවේශම් සහගතව සහ උපරිම වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන බවද නීතීඥ සංගමය අවධාරණය කරනවා.

නිසි පරීක්ෂණවලින් තොරව අතීතයේදීද මෙවැනිම ඝාතන සිදුව ඇති බවත්,   එම ඝාතනවලට සම්බන්ධ වූ වරදකරුවන් නීතිය හමුවට පමුණුවීමට මේ වන විටත් කිසිදු අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නීතීඥ සංගමය කණගාටුවෙන් යුතුව පවසා සිටිනවා.

ඒ අනුව, පොලිසිය අතින් ඉහත සඳහන් පුද්ගලයින් දෙදෙනා ඝාතනය වූයේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්,  අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය වීමේ සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

දිගින් දිගටම මෙම පරීක්ෂණවල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගන්න බවත්, සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම සංගමයේ නිරන්තර සහයෝගය ලබා දෙන බවත් නීතිඥ සංගමය අවසාන වශයෙන් පවසා තිබෙනවා.