නීතිය සහ සාමය ස්ථාපිත කරනු ලබන ආයතනයේ ප්‍රධානියාම නීතියට පටහැනිව කටයුතු කරන විට රටේ පුරවැසියන්ට නීතිය රැකීමට ආරාධනා කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළා.
අති පූජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන්ට අමරපුර මහා නිකායේ මහානායක පදවිය පිරිනැමීමේ ජාතික උත්සවයට ඊයේ (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙහිදී උන් වහන්සේට මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරනු ලැබුවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන චන්‍ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා.
