Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අදානි ගිවිසුම ගැන රනිල් හඬ අවදි කරයි

2 years ago

මෙරට ආර්ථිකයට ඉන්දීය සහයෝගයේ වැදගත්කම පෙන්වාදෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ඉන්දියාවේ සහාය ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන බවයි.

කොළඹදී පැවැති උත්සවයක් අමතමින් මේ බව පැවසූ ඔහු, ඉන්දියාවේ සහයෝගය ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන බවත් 2050 දී තවත් දුප්පත් වන බවටත් අනතුරු ඇඟවීය.

“ඉන්දියාව අපේ සමීපතම අසල්වැසියා. එය ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව හෝ චීනය නොවේ. එබැවින් ශ්‍රී ලංකාව කළ යුත්තේ මෙම සබඳතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. ශ්‍රී ලංකාව සිය කාර්යය ඉන්දියාව හරහා කළ යුතුයි. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 නොලැබුණා නම් අපේ රටට කුමක් වේද?” ආර්ථික අර්බුදය සිහිපත් කරමින් ඔහු ප්‍රශ්න කළේය.

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ ආයෝජන වැඩසටහන ශ්‍රී ලංකාවට තවත් ආයෝජන රැසක් ගෙන ආ බව ද රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වාදුන්නේය.

“ඉන්දියාව අපේ මිතුරා. ඔවුන් අපට ඕනෑම දෙයකට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා. එබැවින් අපගේ එකම විසඳුම මෙම සහයෝගයට ඇලී සිටීමයි. ආයෝජනය ප්‍රමුඛ කොට ගෙන ශ්‍රී ලංකාවට ඇති එකම මාර්ගය මෙයයි. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කළහොත් අපි කිසි විටෙකත් දියුණු වෙන එකක් නැහැ.” ඔහු අනතුරු ඇඟවීය.

කුමන ආණ්ඩුව බලයේ සිටියත් මෙම මාවත භාවිත කරමින් ඉදිරියට යෑමට අවධානය යොමුකළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

තම රජය පැවති කාලසීමාව තුළ ආදානි සමාගම සමග ක්‍රියාත්මක කිරීමට එකඟවූ යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?”