ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධය කොට්ඨාසය පවසයි.
මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබයි.
මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ ජාතික තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්සාත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දායකත්වය ලබා ගැනීම, ගැටුම් නිරාකරණය හා අපරාධ වැලැක්වීම, තරුණ ප්‍රජාවේ ආත්මාභිමානය සුරක්ෂිත කිරීම තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා ගැනීම, ආගමික සමඟිය තහවුරු කිරීම, ස්වාභාවික සම්පත් තිරසර ලෙස පරිහරණය කිරීම, උපද්‍රව හා ව්‍යසන කළමනාකරණය කිරීම , ප්‍රජා සංවර්ධනය කිරීමට දායක වීම, මහජන කේන්ද්‍රීය පොලිස් සේවාවක් නිර්මාණය කිරීම, විනයගරුක හා නීතිගරුක පුරවැසියෙකු නිර්මාණය කිරීමට දායක වීම, පුරවැසියා ආධ්‍යාත්මික හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කර සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම හා කාලීන සමාජ සංවර්ධන අවශ්යාතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට දායක වීමයි.
කමිටුව අවම වශයෙන් මසකට වරක් රැස්වන අතර එහිදි, ඉහත සඳහන් මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් සකස් කර ගැනීමත් වගකීම් පැවරීමත් කමිටුවේ වගකීමක් වේ.
මෙම කමිටුව සඳහා සේවයේ නියුතු විශ්‍රාමික රාජ්‍යය නිලධරයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් වසමේ පිහිටුවා ඇති සමිති සමාගම් වල නියෝජිතයින්, යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයින් තෝරාගනු ලබන අතර ඔවුන් පසුබිම් පරීක්ෂණයකට යටත් කරනු ලබයි. මෙම කමිටුවේ සාමාජිකයින්ගේ ධූර කාලය වසර 03 කි.
