යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරා ගත් සිවිල් ජනතාව සතු සියලු ඉඩම් නැවත නිදහස් කර ජනතාව වෙත මුදා හැරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම යුද සමයේ විනාශ වූ නිවාස යළි ඉදි කර ගැනීම සඳහාද වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර යුද සමයේ කිලිනොච්චිය ප්‍රදේශයේ වසා ඇති මහාමාර්ග යළි විවෘත කිරීමටද පියවර ගන්නා බව ඔහු පැවසුවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“අපි දන්නවා ආරක්ෂක හේතූන් මත ජනතාවගේ ඉඩම් හමුදාව වෙත පවරගෙන තියෙනවා. අපි එම හමුදා නිලධාරීන් එක්ක, හමුදාපතිවරුන් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. නිදහස් කරන්න පුළුවන් හැම බිම් අඟලක්ම ආපහු ජනතාවට දෙන්න අපි කටයුතු කරනවා.
ඒ විතරක් නෙමෙයි සමහර ඉඩම් පාරම්පරිකව වගා කරපු ඉඩම් ගූගල් මැප් එක දිහා බලලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවර ගත්තා. ඒවා මේ ප්‍රදේශයේ වගා කළ ඉඩම්, ජනතාවගේ ඉඩම්, ඒවා නැවත නිසි පරික්ෂාවකින් අපි ලබා දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම තවත් පාරවල් කිහිපයක් වහලා තියෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය ඉස්සරහා කොළඹ පාර ඇරලා තියෙන්නේ. අරලියගහ මන්දිරය ඉස්සරහා පාරවල් ඇරලා තියෙන්නේ. මොකටද කිලිනොච්චියේ පාරවල් වහලා තියෙන්නේ. ඒ හැම පාරක්ම ජනතාවට ගමන් කරන්න පුළුවන් ආකාරයට අපි විවෘත කරනවා. දැනටමත් අපි යාපනයේ පාරවල් විශාල ප්‍රමාණයක් යළි විවෘත කරලා තියෙනවා. අපි මේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනේ.
ඒ වගේම අපි හඳුනගෙන තියෙනවා යුද්ධය හේතුවෙන් නිවාස අහිමි වුණු. නිවාස හදාගන්න වත්කමක් නැති විශාල පිරිසක් මේ උතුරේ ඉන්න බව. ඒ සියලු දෙනාට නිවාස ඉදිකර ගැනීම සඳහා අපේ ආණ්ඩුව සහය දෙනවා.”
